කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු ජාතික එක්සත්කමකට මාවත විවෘත කර ගත යුතුය

 

සිදුවීමට නියමිතව තිබූ ලෙස රජයේ හමුදා එල්.ටී.ටී.ඊ. ”රාජ්‍යයේ” අගනුවර අත්පත් කර ගැනීම ජය පැන්බීමට නොව දෙමළ ජනතාව ජාතික එක්සත්කම වෙත දිනා ගැනීමේ අවස්ථාවක් කර ගත යුතුය.

එය කළ යුත්තේ දෙමළ ජනතාවගේ ජාතික ගෞරවය රැකදීමට රජය සමග සිංහල ජනතාව ඉදිරිපත් වීමෙන්ය. උතුරු නැගෙනහිර පිහිටා ඇති දෙමළ ජනතාවගේ ගම්බිම් ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත කර දෙන බවට රජය සහතිකවීමෙන්ය. දෙමළ ජනතාව සිංහල රාජ්‍ය ආධිපත්‍යයකට යටත් වූවා නොව, සිංහල ජනතාව සමග සමගාමීව ප‍්‍රජාතන්ත‍්‍රවාදය බුක්ති විඳීමේ නිදහසකට ඔවුන් ප‍්‍රවේශ වූ බව ඒත්තු ගැන්විය යුතුය.

ජයග‍්‍රහනය නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට යටත්වැසිභාවයක හැඟීමක් ඇති නොවීමට රජය හා සිංහල ජනතාව වගබලා ගත යුතුය.  අප පිට පැවරී ඇති මෙම ඓයිතිහාසික වගකීම ඉටු කිරීමට අපොහොසත් වෙතොත් යටත්භාවයෙන් මිදීම සඳහා වූ විමුක්තිකාමී හැඟීම දෙමළ ජනතාව අතර නොපෙනී නමුත් පැසවමින් පවතිනු ඇත. එල්.ටී.ටී.ඊ. ඉතිරිව පැවතුනත් නැතත් මෙබඳු තත්ත්වයක් යටතේ අපට කිසි කලෙකත් ජාතික එක්සත් භාවය දිනාගත නොහැකි වනු ඇත. එමෙන්ම කිසිම ජාතියක් හෝ ජනවර්ගයක් දිගින් දිගටම පාලන බලයකට යටත් කර තබා ගැනීමද කළ නොහැක්කකි.

එනිසා දැනටමත් එකඟතා මට්ටමින් පවතින 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආරම්භයක් ලෙස කි‍්‍රයාත්මක කරමින්  බලතල බෙදාහදා ගැනීමට සූදානම් විය යුතුය. එවැනි මාවතකට විරුද්ධ අධිපතිවාදී ප‍්‍රතිගාමීත්වයේ  බලවේගයන් පරාජය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකින් ඉදිරියට ගමන් කිරීම අත්‍යාවශ්‍ය කාර්යයකි.

එල් ටී.ටී.ඊ.යේ පරාජය මධ්‍යයේ දෙමළ ජාතියේ ආත්ම ගෞරවයද ඔවුන්ගේ ගම්බිම්වල සුරක්ෂිතභාවයද, ඔවුන්ගේ බියසැක දුරුකරමින් ඇති කරන නිදහස් පරිසරයද ජාතික එක්සත්කම සඳහා ඇති එකම මාවත ලෙස පොදු පිලිගැනීමක් මතුකර ගත යුතුය.

වාසුදේව නානායක්කා     - ලේකම්(2009 ජනවාරි 05)